අප ගැන

මෙහෙවර

වාහන යන්ත්‍රෝපකරණ අලුත්වැඩියාව, සේවා කිරීම, කුලී පදනම මත ලබාදීම, යටිතල පහසුකම් සංවර්ධනය, සිවිල් ඉදිකිරීම් ගුණාත්මකව සිදු කිරීම,සියලුම මුද්‍රණ කටයුතු සිදු කිරීම , පුහුණු හා උපදේශන සේවා සැපයීමෙන් වෙනත් සුවිශේෂී කාර්යයන් සඳහා සක්‍රීයව හා ගුණාත්මකව දායක වෙමින් සබරගමු පළාතේ ආර්ථික සංවර්ධනය සඳහා උපරිම දායකත්වය ලබාදීම.

දැක්ම

සබරගමුවේ විශිෂ්ටතම රාජ්‍ය ව්‍යවසායකයා වීම. 

 

අරමුණු

 සංවර්ධන නිර්මාණ හා යන්ත්‍රෝපකරණ අධිකාරියේ මූලික අරමුණ වනුයේ සබරගමුව පළාත් සභාව මඟින් ක්‍රියාත්මක සංවර්ධන කාර්යයන් සඳහා අධිකාරිය සතු සම්පත් උපයෝගී කර ගනිමින් සහය දැක්වීම, ඉටු කරදීම හා පළාත් සභාවට අයත් සියලුම වාහන හා යන්ත්‍රෝපකරණ අලුත්වැඩියාව, සේවා කිරීම, ටයර් හා බැටරි සැපයීම, කුලියට වාහන හා යන්ත්‍රෝපකරණ සැපයීම ලෙස දැක්විය හැකියි.

අපි කවුද?

1973 වර්ෂයේ යන්ත්‍රෝපකරණ දෙපාර්තමේන්තුව යටතේ දිසා යාන්ත්‍රික කම්හල ස්ථාපිත කරන ලදී. දීර්ඝ කාලයක් පුරාවට ප්‍රතිව්‍යුහකරණනයට භාජනය වෙමින් රාජ්‍ය නීති රීති අනුව කාර්යක්ෂම සේවාවක් සැපයීමට ඇති හැකියාව අවම නිසා 2009 ඔක්තෝබර් 23 වන දින අංක 1625 දරණ ගැසට් නිවේදනය මගීන් සහ 2009 අංක 02 දරණ සබරගමුව පළාත් ප්‍රඥප්තිය මඟින් සංවර්ධන නිර්මාණ හා යන්ත්‍රෝපකරණ අධිකාරිය පිහිටුවන ලදී. එය ස්ථාපිත කරන අවස්ථාවේ දී දිසා යාන්ත්‍රික කම්හලෙහි සියලුම වත්කම් හා වගකීම් සංවර්ධන නිර්මාණ හා යන්ත්‍රෝපකරණ අධිකාරියට පවරා ගන්නා ලදී.අධිකාරිය සිය කටයුතු ක්‍රියාකාරීව ආරම්භ කරන ලද්දේ 2011 වර්ෂයේදීය.ඒ අනුව ප්‍රධාන කාර්යාලය, සංවර්ධන නිර්මාණ හා යන්ත්‍රෝපකරණ අධිකාරිය, පැරඩයිස් ,කුරුවිට. හි පිහිටුවා ඇත.

2014 මැයි මස අපගේ ශාඛා කාර්යාලය කෑගල්ල දිස්ත්‍රික්කයේ හෙට්ටිමුල්ල ප්‍රදේශයේ ආරම්භ කල නමුදු මේ වන විට උප කාර්යාලය පිහිටා ඇත්තේ කහගල්ල ප්‍රදේශයේ ය.එනම්,සංවර්ධන නිර්මාණ හා යන්ත්‍රෝපකරණ අධිකාරිය ,උප කාර්යාලය ,දේවාලේගම පාර, කහගල්ලේය.

පළාතේ සංවර්ධනයට දායක වන ඉදිකිරිම් කටයුතු සඳහා රජයේ පුරෝගාමි දායකත්වය සපයන ආයතනය වශයෙන් මෙම අධිකාරිය මේ වනවිට සුවිශාල සේවාවක් ඉටු කරමින් සිටි. ගොඩනැගිලි, මංමාවත් ඇතුළු බහුවිධ යටිතල පහසුකම් පළාත තුළ නිර්මාණය කිරිම සඳහා අධිකාරියේ දායකත්වය ලබා දෙනු ලැබේ.පළාතේ මහා පරිමාණ ව්‍යාපෘතියේ පටන් සුළු පරිමාණ ව්‍යාපෘති දක්වාත්, වෙනත් කොන්ත්‍රාත්කරුවන් ඉදිරිපත් නොවන ලාභ අවම ව්‍යාපෘතිවලදි වුව ද තම දායකත්වය(අවශ්‍ය තාක්ෂණික සහාය මෙන්ම නිර්මාණය නිමා කරන තුරු) සංවර්ධනය වෙනුවෙන් ලබාදිමට මෙම අධිකාරිය කටයුතු කරනු ලැබේ. ඵ් අනුව මෙකි බැරෑරුම් කාර්යභාරය වගකීමකින් හා උසස් ප්‍රමිතියකින් යුතුව තව දුරටත් සමාජගත කිරිම සඳහා ඉදිරියේදීත් කටයුතු කරනු ලැබේ.

පළාතේ සියලුම රාජ්‍ය ආයතන වල මෙහෙයුම් කටයුතු කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය පළාත් සභාව සතු සියලුම වාහන යන්ත්‍ර සූත්‍ර නිවැරදි ප්‍රමිතීන්ට අනුකූලව අලුත්වැඩියා කිරීම,වාර සේවා කටයුතු, නඩත්තු කටයුතු සිදුකිරීම,තත්ත්ව සහතික ලබා දීම අධිකාරිය මඟින් සිදු කරනු ලබයි.

ටයර්, බැටරි අලෙවි කිරීම තුළින් සීමිත පිරිසකට ලැබෙන ලාභය අධිකාරියට ලබාගනිමින් එහි වාසිය පාරිභෝගිකයන්ට ලබාදෙමින් සබරගමුව පළාතේ රාජ්‍ය අංශයේ වියදම් අවම කිරීම පිණිස ඵලදායී සේවාවක් ඉටු කිරීමට අධිකාරියට හැකි විය.

එමෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රය කෙ‍රෙහි වැඩි දායකත්වයක් ලබා දෙමින් පළාතේ සියලුම රාජ්‍ය ආයතනයන්හි සියලුම මුද්‍රණ කටයුතු ඉහළ ප්‍රමිතියකින් යුක්තව, කඩිනමින් සහ රහස්‍ය භාවය ආරක්ෂා වන පරිදි ඉටුකිරීමට අධිකාරියේ මුද්‍රණ අංශයට හැකිවිය.

සබරගමුව පළාතේ දේශපාලන, රාජ්‍ය අංශයේ සහායයන් ලබා ගනිමින් ද සබරගමු පාළාත් ගරු ප්‍රධන අමාත්‍ය තුමාගේ ආශිර්වාදය හා මගපෙන්වීම ලබා ගනිමින්ද සබරගමු පළාත් ගරු ආණ්ඩුකාරතුමාගේ , ප්‍රධාන ‍ලේකම්තුමාගේ සහ ප්‍රධාන අමාත්‍යංශ ලේකම්තුමාගේ උපදෙස් සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ සහ ගරු සභාපතිතුමාගේ මඟ පෙන්වීම යටතේ පාලන, මූල්‍ය, යාන්ත‍්‍රික, සංවර්ධන සහ මුද්‍රණ යන ක්ෂේත්‍රයන්ගේ මඟින් අධිකාරිය ක්‍රියාත්මක වේ.

si_LKSinhala